"සාර සදිසි නෙක මල් නෙළනා කළ
වළ ගියදෝ නුබේ ජංගමයා..!"
සොඳුරිය! නුඹ පල් අපෙ දරුවන් පල්
"මල් නෙළුවේ"නැත ජංගමයා..!
"පනහේ - සීයේ"කාඩ් දමාගෙන
මිතුරන් ඇමතු ජංගමයා..!
හිත් තුල තෙරපෙන දුක - සැප කවිකර
කෙටි පණිවුඩ කෙටු ජංගමයා..!
ලෙඩක් - දුකක් කරදරයක් ආ කළ
කළණ මිතුරු වූ ජංගමයා..!
බිම වැටුනත් පොළොවේ ගැහුවත් යලි
"මරණින් නැගිට්ට"ජංගමයා..!
බිරිඳට බත් පත ගෙන යන අතරේ
මග හැලුනයි මගෙ ජංගමයා..!
ඇහිළු කෙනෙකුන් ආපහු දුන්නොත්
බෝ පින් සිඳුවෙයි ජංගමයා...!!!
- පියන්කාරගේ බන්දුල ජයවීර
රාවය - 2014/07/27